Saturday, September 17, 2022

ලෝකයට දැඩි බලපෑමක් කිරීමට ඔබ කුඩා යැයි නොසිතන්න



ඔබෙන් මෙසේ ප්‍රශ්නයක් අසමි. 

"නව සහ යහපත් ලොවක් ගොඩනැගීමට උපකාරී වීම සඳහා ඔබ කරන්නේ කුමක්ද?"

ඔබට එයට වෙලාවක් තවම ලැබුනේ නෑ කියලා හිතෙනවද? එහෙමත් නැත්නම් ඔබ වටා ඉන්න අයට දොස් නොකියන්න. දේශපාලකයන්ට දෙස් දොවොල් නොතියන්න. ඔබේ දෙමාපියන්ට හෝ පවත්නා වාතාවරණයට අප නිරන්තරයෙන්ම දෝශාරෝපනය කරමින් සිටිනවා. ඔබ සමහරවිට නිදහසට කාරණා ගොඩනගනවා වන්නට පුළුවන්. එය හරියට දරුවෙකු පුටුවකින් වැටුනාම ඒ දරුවා නැගිටලා පුටුවට ගහනවා වගේ දෙයක්. මේ නරක පුටුව මාව වැට්ටුවා කියන්නා වාගේ. අප අසමත් වන විට අප එය තව කෙනෙකු පිට පටවා අපට සමාව දෙන්න උත්සහ කරන අවස්ථා අපේ ජිවිතේ තියෙනවා නේද? 

ඉතින් ඇයි අපිට බැරි තම හැකියාවන් අනුව දීප්තිමත් වෙනසක් තම අවට ඇති සමාජයට කරන්න, එයම ප්‍රමාණවත් අපිට අඩු තරමේ ඒ ගැන සිතීමට හරි හැකිනම්. තෙරේසා මව් තුමිය ඒ ගැන මෙන්න මෙහෙම කියනවා. " අප සියලු දෙනා අපේම දොරකඩ පවිත්‍ර කරගන්නේ නම්, මුළු ලෝකයම පවිත්‍ර වනු ඇත." අනුනට බැනීම යනු අපි අපිටම සමාව දීමක්. 

දල රෙදි කඩකින් සැරසුණු කුඩා මිනිසෙකු වූ මහත්මා ගාන්ධි ට පුළුවන් වුනා මුළු ජාතියක් අවදි කිරීමට. කුඩා මලලා යුසුෆ්ට  පුළුවන් වුනා තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා මුළු ලෝකයක් අවදි කරන්න. ඔවුන් සියලු දෙනාම ප්‍රසිද්ධ පුද්ගලයන් වීමට පළමුව සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජයේ ජිවත් වුන මිනිසුන්. නමුත් ඔවුන්ට තිබුනා ඔවුන්ගේ සීමාවන්ට අභියෝග කිරීමේ හැකියාව. 

"දැඩි බලපෑමක් කිරීමට ඔබ කුඩා යැයි නොසිතන්න, එසේ සිතන්නේ නම් මදුරුවෙකු සමග ඔබ කාමරයේ ඇදට යන්න.''

මොහොතක් සිතන්න.

ඒක හරියට සමනල බලපෑමක් (Butterfly Effect) වගේ. ඒ කියන්නේ බ්‍රසීලයේ සමනලයෙකු තටු ගැසුම කැලිෆෝර්නියාවේ කුණාටුවක් ඇති කිරීමට සමත් බව. ඒ කියන්නේ අපිට පුළුවන් එක වටිනා පොඩි දෙයකින් ලෝකයට බලපෑමක් කරන්න. 

එසේ නම් ඔබේ හැකියාවන් සහ වටිනම්කම් නමැති ඔබ සතු බලයන් පිටතට නොගෙන ප්‍රතිපලයක් ලබා ගත නොහැක. කුඩා දෙයකින් අරඹන්න. ලොකු දෙයකට යන්න. යමක් කරන්න ඔබට හැකි වේවි. ඔබ ක්‍රියාත්මක වුවහොත් ඔබ කරා මාර්ගය විවර වනු ඇත.

Thursday, September 15, 2022

ජිවිතයට වටිනාකම්

වටිනාකම් කියන්නේ මොනාද ඇත්තටම? ඔයාටත් වටිනාකම් තියෙනවාද? සමහරු වෙලාවකට හිතෙනවා අපි වටින්නේ නෑ එයාලට..., එහෙම නැත්නම් මගේ කිසිම වටිනාකමක් නෑ....කියලා හිතන අවස්තාවන් ජීවිතේට ඇවිත් තියෙනවා නේද ? මේක පොඩි කතාවක්. 



එක ගොවිපලක ගොවි මහත්මයෙක්ට තිබුනාලු කට කැඩිච්චි කළයකුත්, හොද අලුත් කළයකුත් දෙකක්. මේ ගොවි මහත්තයා හැමදාම ගොවිපලට ටික දුරකින් තියෙන ලිදෙන් වතුර අරන් මේ කළ දෙකට පුරවන් ගොවිපලට අරන් යනවලු. ඉතින් ටික දුරක් හැමදාම ගොවි මහත්මයාට සිද්ධ වෙනවා මේ විදියට වතුර අරන් යන්න ගොවිපලට යනකන්ම. නමුත් මේ කට කැඩුනු කළයෙන් වතුර අරන් යද්දී හැමදාම මග දිගට වතුර හැලෙන්න ගන්න නිසා මේ කට කැඩුනු කළය හරීම අවුලෙන් ඉන්නවලු. එයාට හිතට හරි නෑලු මේ ගැන. එයා දවසක් හිතා ගත්තලු මේ ගැන ගොවිමහත්තයාට කියන්න ඕනී කියලා. ඉතින් ඊ ලග දවසේ කට කැඩුනු කළය ගොවිමහත්තයට කිව්වලු "අනේ ගොවි මහත්තයෝ මගෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ. හැමදාම ගොවිපලට යද්දී මගෙන් වතුර භාගයක් විතරම මග දිගට හැලෙනවා. මගෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මාව ඔය ඇලට වීසි කරලා දාන්න" කියලා.

මේක අහපු ගොවි මහත්මයා මේ කැඩුනු කලයට හරීම කාරුණිකව කිව්වාලු "යාලුවේ ඇයි ඔයා එහෙම හිතන්නේ ඔයාගෙන් කිසිම වැඩක් නෑ කියලා. ඔයා දැකලා තියෙනවාද ලිද ලග ඉදන් ගොවිපලට යන පාරේ දෙපැත්තේම ලස්සනට මල් පිපිලා තියෙනවා".

"ඔව් මං දැකලා තියෙනවා. මගේ ඇගේ සිනිදුවට මල් පෙති ගෑවෙනවා ලගින් යද්දී. හරීම ලස්සනයි ඒ මල් ටික. ඒ වගේම හරිම සුවදයි."

"එහෙම නම් ඔයා දන්නවාද? ඒ මල් පිපෙන්නේ ඔයා නිසයි. මං කවදාවත් ඒ මල් වලට සාත්තු කරන්නේ නෑ. නමුත් ඒ ඔයාගෙ කට කැඩිච්ච තැන් වලින් එලියට විසික් වෙන වතුරෙන් තමා එයාලා ඔය වගේ ලස්සනට හැදෙන්නේ...ඔච්චර ලස්සනට සුවද හමන්නේ ඔයාගෙන් වැටෙන වතුරෙන් පෝශනය වෙලයි. ඉතින් ඔයා හිතනවා ද කාටවත් ඔයාගෙන් ප්‍රයෝජනයක් නෑ කියලා තවත් ඔයාව මන් තියාගන්න වටින්නේ නෑ කියලා." කියලා ගොවි මහත්තයා කිව්වා කට කැඩුනු කළයට.

මේ පොඩි කතාවත් අපේ ජිවිතේට ගන්න පුලුවන්. අපි සමහර අපේ ජිවිතෙන් කිසිම වැඩක් නෑ කියලා හිතෙනවා. කිසි කෙනෙක්ට වැඩක් නෑ කියලා හිතෙනවා නම් පොඩ්ඩක් මදකට නැවතිලා මං ඉහත ලියපු කතාව පොඩ්ඩක් මතක් කර ගන්න.

අපි හිතුවාට අපෙන් වැඩක් නෑ කියලා අපි හැමෝම මේ ලෝකෙට ඇවිත් ඉන්නේ පොඩි හෝ වැඩක් අපෙන් මේ ලෝකෙට වෙන්න තියෙන නිසයි. හැම කෙනෙකුටම වටිනාකමක් තියෙනවා.

මං හිතනවා ඔයාලා SWOT Analysis එක ගැන අහලා ඇති කියලා. ඒ කියන්නේ Strength (ශක්තීන්), Weakness(දුර්වලතා), Opportunity(අවස්තා), Threats ( තර්ජන නැත්නම් බාධක).  අපි හැම කෙනාටම තියෙනවා අපිටම ආවේණික ශක්තීන්, දුර්වලතා, අවස්තා සහ තර්ජන. ඒවා හැම කෙනාටම එක සමාන විදියට පිහිටලා නැතත් මේ ලෝකෙට ආව හැමකෙනෙක්ම ජීවත් වෙද්දී මේ දේවල් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙනවා. ශක්තීන් අපිව ඉහලට දමද්දී අපේ දුර්වලතා හදුනා ගන්න අවස්තාවන් උදවු කරනවා. ශක්තීන්  මගින් ඉහලට යන්නත් අවස්තාවන් අපිට උදවු කරනවා. තර්ජන එහෙම නැත්නම් බාධක හමුවේ ඉදිරියට යන්න නම් අපිට සිද්ධ වෙනවා අපේ දුර්වලතා හදූනා ගන්න. මේ දේවල් අපිට අපේ වටිනාකම් කියන දේ ඔප්පූ කරල පෙන්වලා දෙනවා. පුලුවන් නම් පොඩි වේලාවක් අරන් මේ SWOT එක කොලයක් අරන් ලියලා මොනාද ඔයාට තියෙන ශක්තීන්, දුර්වලතා, අවස්තා සහ තර්ජන කියලා බලන්න. ඔයාට ඔයාව හොයා ගන්න අවස්තාවක් ලැබේවි වගේම ඔයා කොච්චර වටිනා කෙනෙක්ද කියලාත් හදුනා ගන්න ලැබේවි.

Wednesday, September 14, 2022

 එක කුඩා පියවරක් තබමුද  විශාල පිම්මිමක් උදෙසා - ඩොමිනෝ සංසිද්ධිය 



මොකක්ද මේ ඩොමිනෝ සංසිද්ධිය කියලා කියන්නේ?

ස්ටෙපන් මොරිස් තමා ඔහුගේ පරීක්ෂණයක් සමග මේ  ගැන මුල්ම අදහස ගේන්නේ. ඩොමිනෝ කැටයක් කියන්නේ හරියටම සෘජුකෝනාශ්‍රාකාර කැටයකට. ස්ටෙපන් ගේ පරීක්ෂණය සදහා යොදාගන්නේ ඩොමිනෝ කැට 13ක්. හැබැයි මේ කැට එකකට එකක් වෙනස්. කුඩාම කැටය මිලිමීටර් 5ක උසකින් යුක්ත සහ මිලිමීටර 1.5ක පළලකින් යුක්ත කැටයක්. එයින් ආරම්භ කර ඊට පෙර සෑම කැටයකටම වඩා පසුව එන කැටය 1.5 ගුණයකින් වැඩි වන සේ කැට 13ක් යොදා ගනිමින්, අනුපිලිවෙලට එම කැට පෙළ ගස්වනු ලබනවා. එවිට අවසන් 13 වන කැටය මීටරයක් උස වන අතර කිලෝග්‍රෑම් 45 ක බරකින් යුක්තයි. ස්ටෙපන් මේ කැට කුඩා කැටයේ සිට විශාල කැටය දක්වා  සමාන ඉඩ ප්‍රමාණයකින් පෙළ ගස්වා කුඩා තල්ලුවක් කුඩා කැටයට යොදනු ලබනවා. එවිට කුඩා කැටයේ තල්ලු වීමෙන් 2වන, 3වන සහ ඉතිරි කැට සියල්ල අනුපිළිවෙලින් තල්ලු වී යනවා. ඔබ හිතනවා ඇති මේකේ ඇති පුදුමය මොකක්ද කියලා. එහි පුදුමය තම මිලිමීටර් 5ක උසකින් යුක්ත සහ මිලිමීටර 1.5ක පළලකින් යුක්ත කුඩා කැටයට යොදන  සුළු බලයකින් මීටර් 1ක් උස සහ කිලෝග්‍රෑම් 45 විශාල කැටයක් පෙරලීමට හැකි වීමයි. 

ඔන්න මං ඒ ගැන තවත් ටිකක් තේරුම් ගන්න වීඩියෝ එකකුත් ඇතුලත් කළා. 


මෙන්න මේක අපේ ජීවිතේටත් වැදගත් කියන්න තමා මේ කතන්දරය මං මේ විදියට සරලව කිව්වේ. මේකේ ලොකු විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. නමුත් අපි බලමු කොහොමද මේ ඩොමිනෝ සංසිද්ධිය අපේ ජිවිතේට බලපාන්නේ කියලා.

අපි ජිවිතේ සමහර දේවල් කරද්දී අපි කල් දම දමා ඉන්නවා...අපි ඒක හෙට කරමු එහෙම නැත්නම් ඒක අපි අනිද්දා කරමු කියල හිත හිතා ඉන්න අවස්ථා තියෙනවා නේද? සමහර වෙලාවට පලවෙනි පියවර ගන්න අපි තවත් අදිමදි කරන වෙලාවල් තියෙනවා. එහෙමත් නැත්නම් වෙන කෙනෙක් කරනකන් අපි බලාගෙන ඉන්නවා නේද?  අන්න ඒ වෙලාවට අපිට පුළුවන් නම් පලවෙනි පියවර අමාරුවෙන් හරි ගන්න ඒ පොඩි පියවරෙන් අපිට පුළුවන් විශාල වෙනසක් අපේ ජිවිත වලට වගේම ලෝකෙට කරන්න. එහෙම පොඩි පියවරකින් ඉහලට ගියපු ගොඩක් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. මේ ඩොමිනෝ සංසිද්ධිය ගැන මං කිව්වේ ඒ නිසා තමයි. අපිට අපේ ජිවිත වල නැත්නම් අපි වැඩ කරන ආයතනයවල එහෙමත් නැත්නම් අපේ රටේ පොඩි වෙනසක් කරන්න අපිට පොඩි පියවරකින් පුළුවන් විශාල වෙනසකට මග පාදන්න. එහෙම කරපු පුද්ගලයෝ කීප දෙනක් ගැනත්  මං කියන්නම්කො පොඩ්ඩක්. 

අපි කවුරුත් දන්නා ස්ටීව් ජොබ් ඇපල් ආයතනය වැනි විශාල ආයතනකට සංකීර්ණ පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්නේ ඔහුගේ පුද්ගලික පරිගණකය උපයෝගී කොට ගනිමින්.

මාර්ක් සකර්බර්ග් ෆ්බ් හදන්නේ ඔහුගේ සරසවියේ මිතුරන් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීම සදහා. නමුත් වර්තමානයේ මුළු පෘථිවිය වටාම ඉන්න මිනිස්සු මොහොතකින් සම්බන්ධ කිරීමට හැකියාව එය සතුයි.

ඊලෝන් මාස්ක් මුලින්ම ආයෝජනය කරන්නේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහනකට. නමුත් ඔහුගේ අභිප්‍රාය කෙදිනක හෝ අගහරු ග්‍රහයා ගවේෂණය කිරීමයි. 

මේ වගේ ලෝකය වෙනස් කරපු මිනිස්සු ගැන කතා කරන්න නම් අපිට පිටු දහස් ගානක් ලියන්න වෙනවා. ඉතින් ලෝකය දිනපු මිනිස්සු සැම එක් කුඩා පියවරකින් තමා විශාල වෙනස් කම් ලෝකය තුල ඇති කරන්න හේතු වුයේ. ඒ කියන්නේ ඔවුන් එක හැරවුම් ලක්ෂයක් ජීවිතේදී ගත්තා කියන එකයි. එසේ නම් අපිටත් පුළුවන් නේද අපි තුලම මේ වෙනස ඇති කර ගන්න.  එය සඳහා අපිට අවශ්‍ය වෙන්නේ එක කුඩා පියවරක් පමණයි. ඒක සමහර විට ඔයා උදේම නැගිටලා නිදා ගත්ත ඇද ලස්සනට හදන ඒක වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් විනාඩි 15ක් අරන් පොතක පිටු කිහිපයක් කියවන එක වෙන්නත් පුළුවන්. ඔබගේ සිත තුල තියෙන අරමුණට ලගා වෙන්න ගන්න එක් කුඩා පියවරක්. 

කැලුම් වැලිගම මහත්මයාගේ "ඉරණම වෙනස් කිරීමේ කලාව" පොතේ කියනවා අපිට අනාගතය වෙනස් කර ගන්න ඕනි නම් මේ මොහොත වෙනස් කර ගන්න උත්සහ කරන්න කියලා. මිනිස්සු හැමදාම කොහේ හරි තැනක ලියවුනු ඉරණමක් දිහා බලාගෙන ජීවිතය ගෙවන කොට ඔබ උත්සහා කලොත් ඒක පොඩි පියවරකින් ඉදිරියට යන්න ඔබටත් ඔබේ ඉරණම වෙනස් කර ගන්න පුළුවන් වේවි. ස්ටීව් ජෝබ්, මාර්ක් සකර්බර්ග් වගේම එකී මෙකි නොකී ලෝකය වෙනස් කරන්න උදවු වුන මිනිස්සු හැමවෙලේම ගත්තේ ඒක පොඩි පියවරක්. ඉතින් ඇයි එහෙනම් අපිට බැරි කියල හිතන්න කාලය ඇවිත්. මොකද අපේ ජිවිතේ තීරකයා අපිම වන නිසා. 

Tuesday, September 13, 2022

අපි තවත් හැල්මේ දුවමු ද? 


අනුමාන කරන්න පුලුවන් ද කවුද මේ රූපේ ඉන්නෙ කියලා??? මෙයා ගැන කුඩා කතාවක් නමුත් ජනප්‍රිය කතාවක් තියෙනවා අපේ ජීවිතයට වැදගත් වෙන. මේ ගැන මම මුලින්ම කියෙව්වේ ජේ ශෙට්ටි ලියපු Think like a monk පොතේ පරිවර්තනයක් විදියට එලි දැක්වුනු 'යතිවරයෙකු සේ සිතන්න' කෘතියෙන්. මේ ගැන මුලින්ම කියලා තියෙන්නේ 15 වෙනි සියවසේ ජීවත් වුනු ප්‍රසිද්ධ කවියකු වු කබීර් ගේ නිර්මාණයකින් ය. මෙන්න මේකයි මන් කියන්න යන සරලම දේ. වර්තමානයේ අපි හැමෝම අපේ සතුට හොයාගෙන හැල්මේ දුවනවා. අපි සතුට කියලා දකින්නේ ධනවත්බව හෝ ජනප්‍රියබව නම් එහෙම ජනප්‍රිය හෝ ධනවත් අය ලග ඇත්තටම සතුට තියෙනවා ද කියලා පොඩ්ඩක් හොයන්න බලන්න වටින කාරණයක්. 

එහෙනම් ඒ මොකක්ද  ඇත්තටම? 

මෙන්න ඒ ගැන පොඩි කතාවක් තියේනවා ජේ ශෙට්ට් ගේ පොතේ. කස්තුරි මුවෙක්ද ට දවසක් වනාන්තරය තුල ඇවිදින කොට නොවැළැක්විය හැකි සුවදක් දැනෙන්න ගන්නවා. ඌ එය ලුහුබදින්න පටන් ගන්නවා මුලු වනාන්තරය පුරාම. නමුත් සුවදේ මුලාශ්‍රය කවදාවත් කස්තුරි මුවාට සොයා ගන්න ලැබෙන්නේ නෑ. ඌ මුලු වනය පුරාම ඉබාගාතේ දිවයන්නේ මේ සුවද හමන්නේ තමන්ගේ රෝම කූපයන්ගේන්ම  බව නොදැනයි. ඌ ඉබාගාතේ දිවයන්නේ කිසිදු ඵලදායීතාවයකින් තොරවයි. කස්තුරි කියන්නේ ලෝකේ වැඩිම වටිනාකමක් සහිත සුවදකාරයක්. නමුත් කිසිම දවසක කස්තුරි මුවෙකු එය ගැන දන්නේ නෑ. මෙන්න මේ පොඩි කතාවෙන් කියන්නේ මිනිස්සු විදියට අපිත් සතුට හොයාගෙන ඉබාගාතේ යද්දී අපි දන්නේ නැති ලොකුම සත්‍ය තමා අපි ලගමයි මේ සතුට කියන දේ තියෙන්නේ කියන දේ. 

සැබෑ සතුට අභ්‍යාන්තරීකයි. අපි සතුට කියලා කියන්නෙ  අපි ඊලග මොස්තරෙන් එන ස්මාර්ට් ජංගම දුරකතනය අප සතු කර ගන්න එකද... එහෙමත් නැත්නම් හොද විශාල ගෙයක්, කාර් එකක් ගන්න එකද... කොතනද මේ සතුට හැංගිලා ඉන්නේ. එක දෙයක් සපුරා ගනිද්දී අපි තව දෙයක් සපුරා ගන්න තව දෙයක් පිටුපස දුවන එක නොවේද අපි කරන්නේ ... එයින් අපට තව තවත් බොහෝ දේ අවශ්‍ය වෙනවා අපේ සතුට ලගා කර ගන්න. සුලු කාලයකට සැනසීමක් ලැබුනත් අපිට පුලුවන් නම් ලැබෙන දෙයින් පූර්ණ සැනසීමක්  ලබන්න එතන අපිට සතුට කියන දේ ඉතිරී වේවී.

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ටිකක් එකතු වෙලා කරපු පර්යේෂණයකින් පෙන්වනවා 'යහ පැවැත්ම' එහෙමත් නැතිනම් සතුට මුදල් වලට මිලදී ගත නොහැකි බවයි. ඔබට සමස්ත ජීවිතයේ සංතෘප්ත බව වෙනුවෙන් ඩොලර් 75000 ක වැටුපක් ගත්තත් ප්‍රමාණවත් නැතිය කියලා හිතෙන්න පුලුවන් සතුට හොයාගෙන යද්දී. ඇත්තටම මුදල් ජීවිතයේ ගුණාත්මක බවට බලපානවා නම් ඇමෙරිකානු මධ්‍යම පාන්ට්තිකයන්ගේ ප්‍රීතිමත් බවේ අනුපාතය නිරන්තරයෙන් ම පහත බසින බව දැනගැනීම විමතියට කාරණයක් විය හැක. එසේ වන්නේ ඔවුන්ගේ ආදායම් මට්ටම් අඩුවීම හේතුවෙන් නොවේ.  මොවුන් අතිශය පෝසතුන් වන නමුත් නිරන්තර අසතුටෙන් ජීවත් වෙයි. 2005  වසරේ සිට ඔවුන්ගේ ආදායම ඉහල ගොස් තිබුනද එහි පුරවැසියන්ගේ සතුට ක්‍රමයෙන් පහල බැස ඇති බව පර්යේෂණ මගින් ද පෙන්වා දෙනවා.

 තිරසර සංවර්ධන සදහා වූ මධ්‍යස්ථානයේ  අධ්‍යාක්ශක මෙන්ම  World Happiness Report  හී සංස්කාරක්වරයා වන ජෙෆ්‍රී  සැච්  Washington post සමග පවසන්නේ, ' ලොව පුරා වාසය කරන මිනිසුන්ගේ සතුට සදහා වඩාත් බලපාන්නේ ඔවුන් ගේ පුද්ගලික ජිව්තය සහ සමාජ ජිවිතය යන සාධක දෙකෙහී සාධාණීයබාවය යන්නයි'. එනම් තමා කෙරෙහි වන විශ්වාසය බිද වැටීමත් සහ සමාජ ජාල දුර්වල වීමත් නිසා වර්තමානයේ බොහෝ පුද්ගලයන් අසතුටෙන් කල් ගෙවයි.

එසේ නම් මේ සතුට කියන්නේ මුදල් වලින් එහාට ගියපු දෙයක්. එනම් ඔබ පිලිබද ව ඇතිවන යහපත් හැගීම, සමීප සම්බන්ධතාවන්ගේ හිතකරභාවය හා ලෝකය වඩාත් යහපත් තැනක් යැයි සිතීමට ඇති හැකියාවයි. එය අප බලාපොරොත්තු වන භාහිර සන්තුශ්ටියෙන් පරිබාහිරව පවතින්නක්. සැබෑ සතුට නම් නම් අප සිත් සතන්හී ඇතිවන අභ්‍යන්තරික තෘප්තිමත්බ වයි. කස්තුරි මුවා සුවද එන්නේ තමුන්ගේ රෝම කූපයන්ගේන් ම බව නොදැන හැල්මේ දුවනවා වගේ අපිත් සතුට හොයාගෙන කොපමණ දිව්වත් අපි අපි තුළම සතුට තිබෙන බව දැන ජීවත් වුවහොත් අපිට ජීවිතය මීට වඩා සැහැල්ලූ වේවීද කියලා හිතන්න බලන්න කාලයක් ඇවිත්.

කෙසේ වෙතත් ලාංකිකයන් ලෙස මේ කාලපරිච්ජේදය අප ගෙවන්නේ හරිම අපහසු කාලයක් වෙන්නට පුලුවන්. අපිට ආස දෙයක්වත් ගන්න බැරි, ආස කෑමක් වත් කන්න බැරි කාලයක් උදා වෙලා. මෙහෙම ගියොත් අපි ඔක්කොමලාට සතුට කියන දේ අත අරින්න වෙයි ද කියලා හිතෙන්නේ නැද්ද??  නමුත් අපි මේ කාලේ අපිව හොයා ගන්න පොඩි හෝ උත්සහයක් දරන්න පුලුවන් උනොත් අපිට පුලුවන් වෙයි මේ අපහසු කාලේට පොඩි හෝ සැනසීමකින් මුහුණ දෙන්න. අපේ සතුට අපිටම හොයා ගන්න.


Monday, September 12, 2022

මෙන්ලිට මතකද මෙන්ලිව - මේරී හිගින්ස් ක්ලාක්



"..ඇය එක්වරම ගැස්සී අවදි වුයෙ තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි... අම්මේ....අම්මේ... !..."

මෙම පොත වෙනස්ම ආකාරයේ කෘතියකි. පිටු 481ක් පුරාවට කියවාගෙන යද්දී හිතුනේ මේක හොල්මන් කතාවක්ද, එහෙමත් නැත්නම් අභිරහස් කතාවක්ද, ඒත් නැත්නම් ඉතිහාස කතාවක්ද, මිනීමැරුමක් සම්බන්ද කතාවක්ද කියලා මොහොතින් මොහොත කතාව වෙනස් ස්වරුපයක් ගන්න විදියට හිතා ගන්න බැරි වෙන්නයි කතාව ගොඩ නගලා තියෙන්නේ. ඇමෙරිකාවේ මැසචුසෙට් ප්‍රාන්තයේ සුන්දර කේප් කොඩ් නගරයේ වෙරලාසන්න පැරැණි මන්දිරයක් වටා ගෙතෙන මෙම කතාව විටෙක සත්‍ය කතාවක්ද කියලත් නොහිතුනාම නොවේ. ඒ තරමටම මේ කතා පුවත කොපමන සිත් ඇදගන්නවාද කියනවා නම් එක හුස්මට කියවාගෙන යන තරමට කුතුහලය අවුස්සන සුලු බව නම් නොකියාම බැරිය.  

කෘතියේ ප්‍රධාන චරිතය මෙන්ලි වන අතර ඇය වටා මේ කතාව ගෙතී ඇත. මෙන්ලිට තම කුලුදුල් දරුවා සිය අතින් සිදු වූ අත්වැදීමකින් අහිමි වන අතර ඇය පසු කම්පන තත්වයකින් පසු වන අතර නමුත් ඇයට උපරීමය සිදු කරමින් ඉන් මිදීමට උත්සහා දරමින් සිටින අවස්තාවක ඇය මේ කතාව සමග සම්බන්ද වේ. ඇය සැබෑ මවක් වන අතර සිය දෙවැනි දියණියට වෙනසක් නොවන සේ තම රෝගී තත්වය සමග කටයුතු කිරීමට උත්සහා කරන ආදරණීය භාර්‍යාවකි. ඒ  අතරේ ඇයට සිදුවන්නේ සැබවින්ම ත්‍රාසජනක අවස්තාවකට මුහුණ් දීමටයි. මෙම නවකතාවේ සුවිශේෂීභාවය වන්නේ එහි මෙන්ලිම මෙම කතාවේ අභිරහස විසදන ආකාරයට යි. කතාව අතරමැදදී විවිධ චරිත කතාව ඉදිරියට ගෙන යාමට පැමිණෙන නමුත් මෙන්ලිගේ චරිතය කේන්ද්‍ර කොටගෙන දිව යයි. මෙම කතාව පෙල ගැසෙන්නෙද දින පොතක් කියවාගෙන ආකාරයටයි. කෙසේ වෙතත් ඉතාමත් සාර්තක කෘතියක් වන අතර,  පාඨක හදවත් මොහොතකින් වසග කර ගැනීමට සමත් කුතුහලය දනවන කෘතියකි. 

පරිවර්තනය - දීලීප ජයකොඩි 

ප්‍රකාශනය - සුරස 

Sunday, September 11, 2022

මේ මගේ පාරාදීසයයි -යොක් කං 

ලොමු දැහැ ගන්වන කතා පුවතක් වන මෙය සත්‍ය කතාවකි. මිහිමත තිබෙන අතිශය ඒකාධිපති පාලනයක් ගෙන යන ආවුර්ත රාජ්‍යක් වන උතුරු කොරියානු දරුවෙකුගේ සත්‍ය කතාවකි. උතුරු කොරියාවේ "කොමියුනිස්ට් ජුරාසික් උයන " තුල පවත්වාගෙන යන අතිශය ඒකාධිපති පාලනය, කෘ‍රත්ව, මර්දනකාරී පාලනය පිලිබද මේ කෘතිය මගින් හෙලි කරයි. 

යොක් කං ලෙස හදුන්වන මෙහි කතුවරයා දහතුන් හැවිරිදි දරුවකු ලෙස සිය රටින් පලා යාමට ගත් උත්සාහය සහ දිවි ගලවා ගත් ආකාරය ලොමු දැහැ ගන්වන අයුරින් මෙම කෘතිය තුලින් ඉදිරිපත් කරයි. යොක් කං සතු සහජ නිරීක්ෂණ ශක්තියත්, අව්‍යජත්වයත්, ඔහුටම ආවේණික වු ප්‍රකාශන හැකියාවත් ඇදහිය නොහැකි තරම් පුදුමයට පත් කිරීමට සමත්ය. 

යොක් කං 1993 -94  වසර වල උතුරු කොරියාව මුහුණ දුන් විශාල සාගතයෙන් බේරුනු ආකාරය, ගස් කදන් වල පොතු වලින්  සෑදූ සුප්, මිතුරන් සමග මී දඩයමේ යෑම වැනි එකී මෙකී මෙතෙක් ලොවට අනාවරණය නොවූ උතුරු කොරියානු ජිවිතයේ අති දුශ්කර කාලපරිච්ජේදයක් මේ මගින් ලොවට හෙලිදරවු කරයි. එමෙන්ම ඒකාධිපති දේශපාලන න්‍යාය පත්‍ර මගින් එරට සමාජයට කල පරිහානිය මනාවට පිලිඹිබු වන කෘතියකි මෙය. එය අතිශය දුක්ඛදායී කතාවක් මෙන්ම අප්‍රතිහත උත්සහය දරා ගැනීම පිලිබද සත්‍ය කතාවකි.

පරිවර්තනය - නිමල් සෝමරත්න

ප්‍රකාශනය - විදර්ශනා 

  

Friday, September 9, 2022


බිදුණු සමනල හදවත 


මෙම කෘතිය රසවත් නවකතාවක් හෝ සාහිත්‍ය ගුණයෙන් යුක්ත නිර්මාණයක් හෝ නොවේ. එහෙත් මෙය අසමසම කෘතියක්. එය විරල ගනයේ අසම සම කෘතියක් වන්නේ මිනිසෙකුගේ අසමසම ධෛර්යෙන් හැඩ ගැන්වුණු කෘතියක් වන නිසායි.   කෘතිය නිකුත් වූ පළමු දින කිහිපය තුල පිටපත් ලක්ෂ ගණනාවක් අලෙවි විය. මෙය ජෝන් ඩොමිනික් බෝබිගේ කතාවයි. ඔහු loked - in syndrome නම් අතිශය දුර්ලභ රෝගයට ගොදුරු වෙනවා. එම රෝගී තත්වයේදී සිදුවන්නේ රෝගියා සවිඝ්‍රානික නමුත් සම්පුර්ණ මාංශ පේශීන් අක්‍රීය වීම නිසා ඇසේ චලනයන් සහ ඇසි පිය හෙලීම් හැරෙන්නට කිසිදු චලනයක් හෝ අදහස් හුවමාරුවක් කරගැනීමට හෝ නොහැකි තත්වයට පත් වෙන්වා. එහිදී රෝගියා තමන්ගේ සිරුර තුලම සිරකරුවෙකු බවට පත් උනත් ඔහුගේ මනසට කිසිදු හානියක් සිද්ද වෙන්නේ නෑ. මේ කතාව කියන ජෝන්ට කතා කරන්නවත් වත් එහා මෙහා වෙන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ. ඔහුට පුලුවන් වූයේ තමාගේ වම් ඇසි පිල්ලම ආධාරයෙන් පමණයි සන්නිවේදන කරන්න. ඒ එක් ඇසි පියකින් තමා ඔහු මේ විශිෂ්ඨ කෘතිය අකුරු කරන්නේ. තමන්ගේ අනතුර, ඔහුට ඇතිවුනු සිතුවිලි , රෝහලේ ගෙවන දවස්, පවුලේ විස්තර, දකින සිහින, ආහාර පාන, නගරයේ අතීත සිදුවීම් වාගේම එදිනෙදා සිදුවීම් ගැනත් මේ පොතට ඇතුලත් කරනවා.  අලුයම හතරට අවදිවන ඔහු තම හෙද සහයිකාවගේ උපකාරයෙන් පැය හතරක කාලයක් පුරා පොත ලියන්නට පටන් ගත්තා. රෝගියා හෙලන ඇසිපිය වාර ගණන අනුව ඒ හා සැසදෙන හෝඩියේ අකුර සටහන් කර ගන්නා ඇය නිසි  වචනය ගොඩ නැගුවාය. මේ ආකාරයෙන් එක වචනයක් ලියන්නට ගත වූ  කාලය විනාඩි 4ක් බව සදහන් වෙනවා. මේ පොත ලිවීමට ඔහු 200000ක වාරයක්  ඇසිපිය සැලීම කර තිබෙනවා. 

සාමාන්‍ය පුද්ගලයෙකුට සිතා ගැනීමටත් අපහසු උනත් මෙය පුද්ගල මානසිකත්වයේ අති උත්කර්ෂය නේද කියලා පොතේ පිටු 102ක් කියවලා ඉවර කරද්දී මට හිතුනා. යම් කිසි පුද්ගලයෙකුට උවමනාවක් තියෙනවා නම් නොකර බැරි දෙයක් නෑ මේ ලෝකේ කියලා හිතෙන්නේ මේ පොත කියවලා ඉවර උනාට පස්සෙයි. සැබැවින්ම  මිනිස් ඉතිහාසයේ අග්‍රගන්‍ය කෘතියක්. සැබෑ පිම්මක්..මනුශ්‍ය ඉතිහාසයේම ද්‍යිර්‍ය සම්පන්න ශක්තිය පිලිබද කියලා දෙන කෘතියක්.

පරිවර්තනය - රුවිනි තල්පාවිල

ප්‍රකාශනය - විදර්ශනා ප්‍රකාශකයෝ

මිල - 350 




පිළිකා වාට්ටුව 


ඒක සාමාන්‍ය කතාවක්. නමුත් එතන තිබුනේ අමුතුම සංවාදයක්. 1970 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනපු ඇලෙක්සැන්ඩර් සොල්සොනිට්සින් ගේ පිලිකා වාට්ටුව (Cancer Ward), අනුලා ද සිල්වා මහත්මිය විසින් පරිවර්තනය  කරන ලද නවකතාවක්. මේක එසේ මෙසේ කතාවකුත් නොවේ කියලා කියවගෙන යද්දී හිතෙනවා. අංක 13 වාට්ටුවට එන මහාචාර්ය පැවලෝ නිකොලේ රස්නොව් තමා මේ කතාව ඉදිරියට අරගෙන යන්නේ. ඔහු සමාජයේ කොතරම් ඉහල තැනක වැජබුනත් ඔහුට සිද්ද වෙනවා ඔහුගේ ලෙඩේට බෙහෙත් ගන්න නම් මේ වාට්ටුවේ නතර වෙන්න. ඉතින් අකැමැත්තෙන් උනත් ඔහු නතර වෙන්වා. සමාජයේ විවිධාකාර පැලන්ති වලින් ආපු විවිධ සමාජ මට්ටම්වල මිනිස්සු ගැන කතා, ඔවුන්ගේ ජිවිත අත්දැකීම්, සමකාලින රුසියානු දේශපාලනය, ඔවුන්ගේ ජිවිත දර්ශනය දුක සහ සැප, හමුවීම් සහ වෙන්වීමි මුසුඋන කතන්දරයක්.  ඒ හැමදේම හදවත බර කිරීමට සමත් සංවාදයන්. මුළු පිටු 320ක් පුරාම ඔහුන්ගේ කතා තුලින් ජීවිතය කියා දෙනවා විතරක් නොවේ වර්තමාන සමාජ විපරීතයන් පිළිබඳවද මනා අවබෝධයකට ඉඩකඩ ද ලබා දෙනවා. එය සැබවින්ම මා කම්පනයට පත් කල පොතක් වූ බව නම් සැබෑය. 

ප්‍රකාශනය: කෙහෙළි ප්‍රකාශකයෝ 
මිල: රු. 850/=

ලෝකයට දැඩි බලපෑමක් කිරීමට ඔබ කුඩා යැයි නොසිතන්න

ඔබෙන් මෙසේ ප්‍රශ්නයක් අසමි.  "නව සහ යහපත් ලොවක් ගොඩනැගීමට උපකාරී වීම සඳහා ඔබ කරන්නේ කුමක්ද?" ඔබට එයට වෙලාවක් තවම ලැබුනේ නෑ කියලා හ...