ඔබෙන් මෙසේ ප්‍රශ්නයක් අසමි.
"නව සහ යහපත් ලොවක් ගොඩනැගීමට උපකාරී වීම සඳහා ඔබ කරන්නේ කුමක්ද?"
ඔබට එයට වෙලාවක් තවම ලැබුනේ නෑ කියලා හිතෙනවද? එහෙමත් නැත්නම් ඔබ වටා ඉන්න අයට දොස් නොකියන්න. දේශපාලකයන්ට දෙස් දොවොල් නොතියන්න. ඔබේ දෙමාපියන්ට හෝ පවත්නා වාතාවරණයට අප නිරන්තරයෙන්ම දෝශාරෝපනය කරමින් සිටිනවා. ඔබ සමහරවිට නිදහසට කාරණා ගොඩනගනවා වන්නට පුළුවන්. එය හරියට දරුවෙකු පුටුවකින් වැටුනාම ඒ දරුවා නැගිටලා පුටුවට ගහනවා වගේ දෙයක්. මේ නරක පුටුව මාව වැට්ටුවා කියන්නා වාගේ. අප අසමත් වන විට අප එය තව කෙනෙකු පිට පටවා අපට සමාව දෙන්න උත්සහ කරන අවස්ථා අපේ ජිවිතේ තියෙනවා නේද?
ඉතින් ඇයි අපිට බැරි තම හැකියාවන් අනුව දීප්තිමත් වෙනසක් තම අවට ඇති සමාජයට කරන්න, එයම ප්‍රමාණවත් අපිට අඩු තරමේ ඒ ගැන සිතීමට හරි හැකිනම්. තෙරේසා මව් තුමිය ඒ ගැන මෙන්න මෙහෙම කියනවා. " අප සියලු දෙනා අපේම දොරකඩ පවිත්‍ර කරගන්නේ නම්, මුළු ලෝකයම පවිත්‍ර වනු ඇත." අනුනට බැනීම යනු අපි අපිටම සමාව දීමක්.
දල රෙදි කඩකින් සැරසුණු කුඩා මිනිසෙකු වූ මහත්මා ගාන්ධි ට පුළුවන් වුනා මුළු ජාතියක් අවදි කිරීමට. කුඩා මලලා යුසුෆ්ට පුළුවන් වුනා තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා මුළු ලෝකයක් අවදි කරන්න. ඔවුන් සියලු දෙනාම ප්‍රසිද්ධ පුද්ගලයන් වීමට පළමුව සාමාන්‍ය පුද්ගලයන් ලෙස සමාජයේ ජිවත් වුන මිනිසුන්. නමුත් ඔවුන්ට තිබුනා ඔවුන්ගේ සීමාවන්ට අභියෝග කිරීමේ හැකියාව.
"දැඩි බලපෑමක් කිරීමට ඔබ කුඩා යැයි නොසිතන්න, එසේ සිතන්නේ නම් මදුරුවෙකු සමග ඔබ කාමරයේ ඇදට යන්න.''
මොහොතක් සිතන්න.
ඒක හරියට සමනල බලපෑමක් (Butterfly Effect) වගේ. ඒ කියන්නේ බ්‍රසීලයේ සමනලයෙකු තටු ගැසුම කැලිෆෝර්නියාවේ කුණාටුවක් ඇති කිරීමට සමත් බව. ඒ කියන්නේ අපිට පුළුවන් එක වටිනා පොඩි දෙයකින් ලෝකයට බලපෑමක් කරන්න.
එසේ නම් ඔබේ හැකියාවන් සහ වටිනම්කම් නමැති ඔබ සතු බලයන් පිටතට නොගෙන ප්‍රතිපලයක් ලබා ගත නොහැක. කුඩා දෙයකින් අරඹන්න. ලොකු දෙයකට යන්න. යමක් කරන්න ඔබට හැකි වේවි. ඔබ ක්‍රියාත්මක වුවහොත් ඔබ කරා මාර්ගය විවර වනු ඇත.

No comments:
Post a Comment