Thursday, September 15, 2022

ජිවිතයට වටිනාකම්

වටිනාකම් කියන්නේ මොනාද ඇත්තටම? ඔයාටත් වටිනාකම් තියෙනවාද? සමහරු වෙලාවකට හිතෙනවා අපි වටින්නේ නෑ එයාලට..., එහෙම නැත්නම් මගේ කිසිම වටිනාකමක් නෑ....කියලා හිතන අවස්තාවන් ජීවිතේට ඇවිත් තියෙනවා නේද ? මේක පොඩි කතාවක්. 



එක ගොවිපලක ගොවි මහත්මයෙක්ට තිබුනාලු කට කැඩිච්චි කළයකුත්, හොද අලුත් කළයකුත් දෙකක්. මේ ගොවි මහත්තයා හැමදාම ගොවිපලට ටික දුරකින් තියෙන ලිදෙන් වතුර අරන් මේ කළ දෙකට පුරවන් ගොවිපලට අරන් යනවලු. ඉතින් ටික දුරක් හැමදාම ගොවි මහත්මයාට සිද්ධ වෙනවා මේ විදියට වතුර අරන් යන්න ගොවිපලට යනකන්ම. නමුත් මේ කට කැඩුනු කළයෙන් වතුර අරන් යද්දී හැමදාම මග දිගට වතුර හැලෙන්න ගන්න නිසා මේ කට කැඩුනු කළය හරීම අවුලෙන් ඉන්නවලු. එයාට හිතට හරි නෑලු මේ ගැන. එයා දවසක් හිතා ගත්තලු මේ ගැන ගොවිමහත්තයාට කියන්න ඕනී කියලා. ඉතින් ඊ ලග දවසේ කට කැඩුනු කළය ගොවිමහත්තයට කිව්වලු "අනේ ගොවි මහත්තයෝ මගෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ. හැමදාම ගොවිපලට යද්දී මගෙන් වතුර භාගයක් විතරම මග දිගට හැලෙනවා. මගෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මාව ඔය ඇලට වීසි කරලා දාන්න" කියලා.

මේක අහපු ගොවි මහත්මයා මේ කැඩුනු කලයට හරීම කාරුණිකව කිව්වාලු "යාලුවේ ඇයි ඔයා එහෙම හිතන්නේ ඔයාගෙන් කිසිම වැඩක් නෑ කියලා. ඔයා දැකලා තියෙනවාද ලිද ලග ඉදන් ගොවිපලට යන පාරේ දෙපැත්තේම ලස්සනට මල් පිපිලා තියෙනවා".

"ඔව් මං දැකලා තියෙනවා. මගේ ඇගේ සිනිදුවට මල් පෙති ගෑවෙනවා ලගින් යද්දී. හරීම ලස්සනයි ඒ මල් ටික. ඒ වගේම හරිම සුවදයි."

"එහෙම නම් ඔයා දන්නවාද? ඒ මල් පිපෙන්නේ ඔයා නිසයි. මං කවදාවත් ඒ මල් වලට සාත්තු කරන්නේ නෑ. නමුත් ඒ ඔයාගෙ කට කැඩිච්ච තැන් වලින් එලියට විසික් වෙන වතුරෙන් තමා එයාලා ඔය වගේ ලස්සනට හැදෙන්නේ...ඔච්චර ලස්සනට සුවද හමන්නේ ඔයාගෙන් වැටෙන වතුරෙන් පෝශනය වෙලයි. ඉතින් ඔයා හිතනවා ද කාටවත් ඔයාගෙන් ප්‍රයෝජනයක් නෑ කියලා තවත් ඔයාව මන් තියාගන්න වටින්නේ නෑ කියලා." කියලා ගොවි මහත්තයා කිව්වා කට කැඩුනු කළයට.

මේ පොඩි කතාවත් අපේ ජිවිතේට ගන්න පුලුවන්. අපි සමහර අපේ ජිවිතෙන් කිසිම වැඩක් නෑ කියලා හිතෙනවා. කිසි කෙනෙක්ට වැඩක් නෑ කියලා හිතෙනවා නම් පොඩ්ඩක් මදකට නැවතිලා මං ඉහත ලියපු කතාව පොඩ්ඩක් මතක් කර ගන්න.

අපි හිතුවාට අපෙන් වැඩක් නෑ කියලා අපි හැමෝම මේ ලෝකෙට ඇවිත් ඉන්නේ පොඩි හෝ වැඩක් අපෙන් මේ ලෝකෙට වෙන්න තියෙන නිසයි. හැම කෙනෙකුටම වටිනාකමක් තියෙනවා.

මං හිතනවා ඔයාලා SWOT Analysis එක ගැන අහලා ඇති කියලා. ඒ කියන්නේ Strength (ශක්තීන්), Weakness(දුර්වලතා), Opportunity(අවස්තා), Threats ( තර්ජන නැත්නම් බාධක).  අපි හැම කෙනාටම තියෙනවා අපිටම ආවේණික ශක්තීන්, දුර්වලතා, අවස්තා සහ තර්ජන. ඒවා හැම කෙනාටම එක සමාන විදියට පිහිටලා නැතත් මේ ලෝකෙට ආව හැමකෙනෙක්ම ජීවත් වෙද්දී මේ දේවල් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙනවා. ශක්තීන් අපිව ඉහලට දමද්දී අපේ දුර්වලතා හදුනා ගන්න අවස්තාවන් උදවු කරනවා. ශක්තීන්  මගින් ඉහලට යන්නත් අවස්තාවන් අපිට උදවු කරනවා. තර්ජන එහෙම නැත්නම් බාධක හමුවේ ඉදිරියට යන්න නම් අපිට සිද්ධ වෙනවා අපේ දුර්වලතා හදූනා ගන්න. මේ දේවල් අපිට අපේ වටිනාකම් කියන දේ ඔප්පූ කරල පෙන්වලා දෙනවා. පුලුවන් නම් පොඩි වේලාවක් අරන් මේ SWOT එක කොලයක් අරන් ලියලා මොනාද ඔයාට තියෙන ශක්තීන්, දුර්වලතා, අවස්තා සහ තර්ජන කියලා බලන්න. ඔයාට ඔයාව හොයා ගන්න අවස්තාවක් ලැබේවි වගේම ඔයා කොච්චර වටිනා කෙනෙක්ද කියලාත් හදුනා ගන්න ලැබේවි.

No comments:

Post a Comment

ලෝකයට දැඩි බලපෑමක් කිරීමට ඔබ කුඩා යැයි නොසිතන්න

ඔබෙන් මෙසේ ප්‍රශ්නයක් අසමි.  "නව සහ යහපත් ලොවක් ගොඩනැගීමට උපකාරී වීම සඳහා ඔබ කරන්නේ කුමක්ද?" ඔබට එයට වෙලාවක් තවම ලැබුනේ නෑ කියලා හ...